කොවිඩ් – 19 වසංගතය සම්බන්ධයෙන් මෙරට ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තය වසා දමන අවස්ථාවේදී මෙරටට පැමිණෙමින් සිට ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළෙන් පිටත් වීමට නොහැකිව තවමත් එහි රැදී සිටින ශ්‍රී ලාංකිකයන් කිහිප දෙනෙක් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරන ලෙස ඔවුන් ඉල්ලා සිටී.
එම පිරිසෙන් එක් අයෙක් අදහස් දක්වමින් කියා සිටියේ ඔහු මාර්තු 18 වන දින ශ්‍රී ලංකාව බලා පැමිණීමේදී ඩුබායිහි හුවමාරුව තිබුණු අතර ඒ වන විට ශ්‍රී ලංකාවේ කටුනාවක ගුවන් තොටුපළේ පැමිණීමේ පර්යන්තය වසා දැමීම හේතුවෙන් තමාගේ ගුවන් යානය නොපැමිණි බවයි.
එදින සිට දවස් 20කට ආසන්න ප්‍රමාණයක් ඩුබායි ගුවන් තොටුපළේ හෝටලයක රැදී සිටින ඔහු ඊයේ සිට සති දෙකකට ඩුබායි මුළුමනින්ම වසා දැමීමේ හේතුවෙන් මහත් අසීරුතාවට පත් වී ඇති බව පැවසුවේය. මීට පෙර ඩුබායි ජාත්‍යන්තර ගුවන් තොටුපළද වසා දැමුනේය.
ශ්‍රී ලංකාවට මේ වන විට භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානා පැමිණෙන අතර එවැනි ගුවන් යානයකින් හෝ ලංකාවට පැමිණීමට නම් මෙරට බලධාරීන්ගේ අනුමැති අවශ්‍ය බවත් ඔහු පැවසුවේය.
එසේ අවශ්‍ය අවසරය ඉල්ලා ඩුබායිහි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය වෙත එදිනම ඉල්ලීමක් කරත් මේ වන තෙක් ඒ සදහා යහපත් ප්‍රතිචාරයක් නොමැති බවත් ඔහු කියා සිටියේය.
තව දුරටත් අදහස් දැක්වූ ඔහු කියා සිටියේ ජනාධිපතිවරයාගෙන්ද මේ සදහා විසදුමක් ලබා දෙන ලෙස ඔහු ඊමේල් සහ ට්විටර් පණිවිඩ හරහා ඉල්ලීම් කළද ඊට තවමත් යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවයි.
මේ සම්බන්ධයේ අප ඩුබායිහි කන්සියුලර් ජනරාල්වරයා වන නලින්ද විජේරත්න මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ශ්‍රී ලංකාවට පැමිණීමට නොහැකිව තුන්සිය ගණනක පිරිසක් ඩුබායිහි සිරවී සිටින අතර ඔවුන් ශ්‍රී ලංකාවට යැවීම සදහා අවශ්‍ය සෑම ක්‍රියාමාර්ගයක්ම ගන්නා බවයි.
ඒ සම්බන්ධයෙන්වූ ඉල්ලීම මේ වන විටත් ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු ලේකම්වරයාට යවා ඇති බවත් ඔහු කියා සිටියේය.
කෙසේ වෙතත් විදේශ ලේකම් රවිනාථ ආරියසිංහ මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ ගුවන් තොටුපළ වසා ඇති තත්ත්වයක් තුළ ඒ සදහා ක්‍රියා මාර්ග ගැනීම අපහසු බවයි.
ගුවන් තොටුපළ සහ ගුවන් සේවා (ශ්‍රී ලංකා) සමාගමේ සභාපති විශ්‍රාමික මේජර් ජනරාල් ජී. ඒ. චන්ද්‍රසිරි මහතා පැවසුවේ අදාළ අංශවලින් අනුමැතියක් ලැබෙන්නේනම් මෙම පිරිස ලංකාවට ඇතුළු වීමට ගුවන් තොටුපළ පැමිණීමේ පර්යන්තය යොදා ගැනීමට අවසර ලබා දිය හැකි බවයි.